නාඋයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවෙන් ගමන් කළ භික්ෂුන් වහන්සේලා පිරිසක් අනතුරට ලක්වීම සම්බන්ධයෙන් වන විමර්ශනවල ට අදාළ තොරතුරු රැසක් වාර්තා වනවා.
මෙහිදී අනතුරට ලක්වූ ඩක්කුව විදුලියෙන් ක්‍රියාත්මක කරන හය දෙනකුට පමණ ගමන් කිරීමට සුදුසු ලෙස සකසා තිබූවක් බවයි අනාවරණය වී ඇත්තේ.
නමුත් එදින එම ඩක්කුවේ භික්ෂුන් වහන්සේ 13 දෙනකු ගමන් කර ඇති බව ද, දැරිය නොහැකි බර හේතුවෙන් ඉහළටම නැග ගිය ඩක්කුව ආපසු වේගයෙන් පහළට ගමන් කිරීමෙන් මේ මාරක අනතුර සිදුව ඇති බව ද පොල්පිතිගම පොලීස් ආරංචි මාර්ග සඳහන් කළා.
ඩක්කුවට සවිකර ඇති යකඩ කේබල් කැඩී යෑමෙන් අනතුර සිදුව ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා.
මීට වසර දහයකට පමණ ඉහතදී මේ ඩක්කුව ඉදිකර තිබෙන අතර, මෙතෙක් එය ක්‍රියාකාරීත්වයේදී කිසිම අනතුරකට හෝ කාර්මික දෝෂයකට ලක්ව නැති බව ද පැවසෙනවා.
නමුත් මෙය නිසි නඩත්තුවකට ලක් නොවීමෙන් සහ දැරිය නොහැකි බරක් ප්‍රවාහනය කිරීමට සිදු වීමෙන් මේ අවාසනාවන්ත සිද්ධිය වන්නට ඇති බව පොලීසිය සැක කරනවා.
එසේම මෙය ඉහළ ඉදිකිරීම් කටයුතු සඳහා ගල්වැලි රැගෙන යාම හේතුවෙන් ද එහි ඇති යකඩ කේබල්වලට හානි සිදුව තිබෙන්න ඇති බවට ද සැක කරනවා.,
අධික ආනතියක් සහිත බෑවුමක් ඔස්සේ යකඩ පීලි මත සකසා ඇති එම ඩක්කුව එය ගමන් ආරම්භ කරන ස්ථානයෙනුත් පහළට මීටර් 100ක් පමණ දුරකට ගොස් නැවතී තිබෙන ආකාරය දැකගත හැකියි.
අනතුරින් ඩක්කුව සම්පූර්ණයෙන්ම විනාශයට ලක්ව තිබෙන අතර වනයේ ඇති ගස්වැල්වල වැදීමෙන් බරපතළ තුවාල ලද භික්ෂුන් වහන්සේ දෙනමක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව සිටි බව වාර්තා වනවා.