Hot News

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙන් අඩු පිරිවැයකින් ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම්

ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ – පිළිකා…

Hot News

සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැහැ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි…

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයෙන් අඩු පිරිවැයකින් ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම්

ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම රජයේ රෝහලකින් නොමිලයේ සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු දන්නේ නැහැ – පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ ක්‍රිසන්ති විතාරණ

ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය විසින් රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු බද්ධ කිරීමේ සැත්කම් සිදු කර තිබෙන බව මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පැවසීය.

2016 වසරේ දෙසැම්බර් මාසයේ දී මහරගම අපේක්ෂා රෝහලේ ඇට මිදුළු බද්ධ කිරීම ආරම්භ කළ බවත් 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයේදී වෛද්‍ය කුමාර් වීරසේකර සමාරම්භක දේශනය පවත්වමිනි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනයේ (SLCO)  22 වැනි සංවත්සරයට සමගාමීව අධ්‍යයන සැසිමාලාව පසුගිය 22 වනදා සිට 24 වනදා දක්වා කොළඹ ගලදාරී හෝටලයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා පිළිකා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ අධ්‍යයන ආයතනය විසින් මෙවර වෛද්‍ය කුමාර් වීරසේකර දේශනය සඳහා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකයේ (BMTU) සාර්ථකත්වය හඳුනා ගෙන තිබිණි.

ඒ අනුව ‘ජීවිතයේ දෙවන අවස්ථාවක්: ශ්‍රී ලංකාවේ පළමු ජාතික ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය පිහිටුවීම’ මැයෙන් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මෙම දේශනය පවත්වනු ලැබීය.

මෙම ඒකකය ස්ථාපිත කිරීමට පෙර රුපියල් ලක්ෂ 80-100ක් වැනි විශාල මුදලක් වැය කර විදෙස් රටකට යාම හැර වෙනත් විකල්පයක් නොතිබූ බවත් ඇට මිදුළු බද්ධ කිරීමේ පහසුකම නොමිලයේ රජයේ රෝහලකින් සැපයෙන බව තවමත් බොහෝ දෙනෙකු නොදන්නා බවත් සිය දේශනය පවත්වමින් විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

2016 වසර අවසානයේ  සිට 2025 වසරේ මැද භාගය වන විට රුපියල් මිලියන 200ක් වැය කර රුපියල් බිලියන 2ක් වටිනා ඇට මිදුළු සැත්කම් මහරගම අපේක්ෂා රෝහලේදී  සිදු කර තිබෙන බවද 2025 වසරේ අගෝස්තු මාසය වන විට රෝගීන් 294 දෙනෙකුට සාර්ථක ලෙස ඇට මිදුළු බද්ධ කිරීම් සිදු කර ඇති බවද ඒ මහතා අනාවරණය කළේය.

ආර්ථික අර්බුදය හමුවේ මුහුණ දුන් ඉන්ධන හිඟය, ඖෂධ හිඟය පවා නොතකා ඇටමිදුළු බද්ධ කිරීමේ ඒකකය අඛණ්ඩව එම කටයුතු සිදු කළ බව සඳහන් කළ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා මේ වන විට දායක ඇට මිදුළු බද්ධය (allogeneic stem cell transplant) ද ආරම්භ කර ඇති බව ප්‍රකාශ කළේය. ඒ අනුව සිව්වන දායක ඇට මිදුළු බද්ධය සිදු කිරීමට මේ දිනවල සැලසුම් කරමින් සිටින බවද ඔහු අනාවරණය කළේය.

2023 වසරේදී 49 ලෙස ඇටමිදුළු බද්ධ කිරීම් වැඩිම සංඛ්‍යාවක් සිදු කළද, විවිධ හේතූන් මත 2024 දී එම ප්‍රමාණයට ළඟා වීමට නොහැකි වූ බව පෙන්වා දුන් වෛද්‍යවරයා ඇට මිදුළු බද්ධය සඳහා වන පොරොත්තු ලේඛනය මේ වන විට 2027 ජනවාරි මාසයය දක්වා දීර්ඝ වී ඇති බව අනාවරණය කළේය.

ඇට මිදුළු බද්ධ කිරීමේ ඒකකය (BMTU) සඳහා ප්‍රමාණවත් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයක් නොමැති වීම මෙම ක්‍රියාවලියේ අඛණ්ඩතාව පවත්වා ගැනීමට සෘජුවම බලපාන සාධකයක් බව සඳහන් කළේය. විශේෂයෙන් මේ වන විට එම ඒකකයට අනුයුක්තව ඇත්තේ ඊට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යාවෙන් අඩක් පමණක් බව ඔහු අවධාරණය කළේය.

පුහුණුව ලත් වෛද්‍යවරු සාමාන්‍ය මාරුවීම් පටිපාටිය යටතේ ස්ථාන මාරු ලැබීමත්, පත්ව එන වෛද්‍යවරු නැවත පුහුණු කිරීමත් නිරන්තරයෙන් මුහුණ දීමට සිදු වන ගැටළු වන අතර ආර්ථික අර්බුදය හේතුවෙන් ඇති වූ ඇට මිදුළු ගබඩා කරන බෑග් සහ Dimethyl Sulfoxide (DMSO) හිගය ,දායක ඇට මිදුළු බද්ධය සඳහා ගැලපෙන පරිත්‍යාගශීලීන් නොමැතිවීමද මුහුණ දීමට සිදු වී ඇති ප්‍රධාන ගැටළු අතර වන බව වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

එසේම මිළ අධික අත්‍යවශ්‍ය කිමෝතෙරපි ඖෂධ රජය හරහා නොලැබෙන බැවින් පරිත්‍යාගශීලීන් හරහා ඒවා ලබා ගැනීමේ කාර්යයද  තමන් ඇතුළු  කණ්ඩායමට පැවරී ඇති බව ඔහු සඳහන් කළේය.

මෙම අපහසුතා නොවන්නට අවම වශයෙන් වසරකට ඇට මිදුළු බද්ධ කිරීම් 55ක් පමණ සිදු කිරීමට හැකියාව පවතින බවත් එසේ වුවහොත් පොරොත්තු ලේඛනයේ රැඳී සිටින සමහර රෝගීන්ට අවාසනාවන්ත ලෙස මිය යාමට සිදු නොවන බවත් ඒ මහතා අවධාරණය කළේය.

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 283කි.

ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 299කි.

ඔක්ටේන් 95 පෙට්‍රල් සහ ලංකා භූමිතෙල් මිල නොවෙනස්ව පවතිනු ඇත.

රාජ්‍ය ආයතනවලට නව පණක් දීමට ‘සෙයිරි සතිය’ අද සිට

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව ඉහළ නැංවීමේ අරමුණින්, සියලුම රාජ්‍ය ආයතන ඉලක්ක කරගත් ‘ක්ලීන් ශ්‍රී ලංකා’ (Clean Sri Lanka) ජාතික වැඩසටහන යටතේ, ‘සෙයිරි සතිය’  ජාතික වැඩසටහනෙ අද(01) ඇරඹේ.

මෙම වැඩසටහනේ මූලික අරමුණ වන්නේ රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි ඉටු කිරීම සඳහා සාමකාමී, සෞඛ්‍යාරක්ෂිත සහ මනා ලෙස සංවිධානය වූ වැඩ පරිසරයක් නිර්මාණය කිරීමයි. ඵලදායීතාව පිළිබඳ පංචවිධ සංකල්පයට අයත් ‘සෙයිරි’ යන්නෙන්, ආයතනයකට අවශ්‍ය දෑ සහ අනවශ්‍ය දෑ හඳුනාගෙන අනවශ්‍ය දෑ බැහැර කිරීම අදහස් කෙරේ. ඒ අනුව, රාජ්‍ය ආයතන තුළ සීමිත ඉඩකඩ ප්‍රශස්ත ලෙස භාවිත කරමින්, ගොඩගැසී ඇති අනවශ්‍ය ද්‍රව්‍ය ඉවත් කිරීම මෙහිදී ප්‍රමුඛ කාර්යයක් වනු ඇත.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථා ප්‍රධානීන්ට නිකුත් කර ඇති චක්‍රලේඛයකට අනුව, මෙම සතිය තුළ සෑම දිනකම උදෑසන කාලයෙන් පැය දෙකක් ආයතන පිරිසිදු කිරීම සහ සංවිධානය කිරීම සඳහා යෙදවිය යුතුය. ගොඩනැගිලි ඇතුළත මෙන්ම බාහිර පරිසරය, ආයතනයට පිවිසෙන මාර්ග සහ මාර්ග දෙපස අලංකාරව පවත්වා ගැනීමටත්, විශේෂයෙන් ආබාධිත ප්‍රජාවට අවශ්‍ය පහසුකම් සැලසීමටත් මෙහිදී අවධානය යොමු කෙරේ.
තවද, භාවිතයට ගත නොහැකි ඉන්වෙන්ට්‍රි භාණ්ඩ, පැරණි මෝටර් වාහන සහ ලිපිගොනු නිසි ක්‍රමවේදයකට අනුව බැහැර කරන ලෙසට ද උපදෙස් දී ඇත.
මෙම ‘සෙයිරි සතිය’ එක්වරක් පමණක් ක්‍රියාත්මක කර නතර නොකර, එමගින් ඇතිකරන සංවිධිත පරිසරය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ස්ථිර ක්‍රමවේදයක් සකස් කර, ඒ සඳහා නිලධාරියෙකුට වගකීම් පවරන ලෙසද සියලුම ආයතන ප්‍රධානීන්ට වැඩිදුරටත් දැනුම් දී තිබේ.

සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැහැ

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු නැතැයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.හිටපු ජනාධිපතිවරයා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට ඔහුට මීට පෙර දැනුම් දී තිබුණ.

ප්‍රභල භූ කම්පනයෙන් ඇෆ්ගනිස්තානයේ 20ක් මියයයි 100කට තුවාල

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පන තත්ත්වයකින් මේ වන විට පුද්ගලයින් රැසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

රික්ටර් මාපකයේ 6.0ක ප්‍රබලත්වයෙන් කිලෝමීටර් 8ක ගැඹුරකින් මෙම භූ කම්පන තත්ත්වය හටගෙන ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හටගත් භූ කම්පන තත්ත්වයෙන් පසු ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයින් 100කට අධික පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවය.

හිටපු ජනපති ලේකම් සමන් ඒකනායක අද CID යට

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා අද (01) යළි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

ඒ අනුව ඒ මහතාට අද පෙරවරු 9ට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ සිදුකළ සංචාරයට අදාළව සිදුකරන විමර්ශනය සඳහා ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

සිද්ධියට අදාළව මීට පෙර ද සමන් ඒකනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ප්‍රකාශ සටහන් කරගෙන තිබුණි.

මේ අතර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ ‍වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයේ පැවැති උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී ඇත්තේ නිල ආරාධනයක් අනුව බවත් එය යළිත් වරක් තහවුරු කර ඇතැයි හිටපු ජනාධිපතිවරයාගේ මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක මහතා පවසයි.

මෙම සිද්ධිය සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට පසුගිය 22 වැනිදා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර පසුව අගෝස්තු 26 වැනිදා ඒ මහතා ඇප මත මුදා හැරිණි. 

මගීන්ට අධිවේගෙන් නීතියක් අද සිට

අධිවේගී මාර්ගයේ බස් රථ තුළ සිටින මගීන් ආසන පැටි පැළ දීම (01) අද සිට අනිවාර්‍ය කර ඇති අතර එය නොපිළි පදින අය වෙනුවෙන් රජ නීති ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත

අද වහීද?

සබරගමුව පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

ඌව පළාතේත් අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු – මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

දෘශ්‍ය ලෙස සුර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 07 වන දින දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සෘජුවම ඉහලින් පවතී. 

ඒ අනුව අද (01) දින දහවල් 12:10 ට මුදලෛපලයි, බලගොල්ලාගම, රාජාංගනය, එප්පාවල, මැදිරිගිරිය, පල්ලිත්තිඩාල්, වාකරේ ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී

වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිහතරක් රට හැර ගිහින්

වසරක් තුළ විශේෂඥ වෛද්‍යවරුන් විසිහතරකට ආසන්න පිරිසක් රට හැර යාම නිසා ග්‍රාමීය සෞඛ්‍ය පද්ධතියට බාධා එල්ල වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.


අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියා.

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව – සභාපති – වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය

චීනයේ පැවැත්වීමට නියමිත විසි තුන්වන ආසියානු කරාතේ ශූරතාවලිය

චීනයේ පැවැත්වීමට නියමිත විසි තුන්වන ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම සමූහ ඡායාරූපයට පෙනී සිටීම අද සිදු කෙරුණා.


කණ්ඩායමේ සාමාජිකයන් වෙත ගුවන් ටිකට් පත් ලබාදීම ද සිදු වුණා.

23 වන ආසියානු කරාතේ ශූරතාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ලබන සැප්තැම්බර් දෙවන දින චීනය බලා පිටත් වීමට නියමිත අතර සැප්තැම්බර් මස 5,6 සහ 7 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිතයි.


ජාතික කණ්ඩායම නියෝජනය කරමින් චීනය බලා පිටත් වන අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 27 දෙනා අතර කාතා සහ කුමිතේ යන ඉසව් සඳහා ද මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩකාවන් ඉදිරිපත් වනවා.