Hot News

සෑම පුරවැසියෙකුගේම ‘ජීවන තත්ත්වය උසස් කරන බවට’ ජනපතිගෙන් ජපානයේ සිට සහතිකයක්

සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025”…

වැරදුණු තැන් නිවැරදි කරගෙන යළි නැගිටින පිරිවර (VIDEO)

නිදහසට කරුණු අනවශ්‍ය බවත් වැරදි පිළිගත යුතු බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු සනත් ජයසූරිය පවසනවා.

ආසියානු කුසලාන අවසන් තරගයට පිවිසීමේ අවස්ථාව අහිමිවී ලංකාවට පා තැබූ විගස ඔහු මේබව සඳහන් කළා.

YouTube player

නා උයනේ අනතුරෙන් තුවාල ලැබූ තවත් හිමිනමක් අපවත් වෙයි

නා උයන ආරණ්‍ය සේනාසනයේ අනතුරින් බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් හිමිනමක් අපවත් වී තිබෙනවා.

නා උයනේ අනතුරින් අපවත්වූ හිමිවරු සංඛ්‍යාව 08 දක්වා ඒ අනුව ඉහළ ගියා.

අද දිනයේ වැසි වාර කිහිපයක්

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේදී වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවත් ඌව පළාතේත් අම්පාර දිස්ත්‍රික්කයේත් ප.ව. 2.00 න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇතිවිය හැකි බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙනවා.

විජේගේ දේශපාලන රැලියක ‘තෙරපීමක් නිසා’ 36 දෙනෙකු මරුට

විජේ විසින් තමිල්නාඩුවේ කරූර් හි සංවිධානය කර තිබූ දේශපාලන රැලියක තෙරපීමක් නිසා 36දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

30,000ක පමණ පිරිසක් මෙම රැළියට සහභාගී වී සිට ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

සෑම පුරවැසියෙකුගේම ‘ජීවන තත්ත්වය උසස් කරන බවට’ ජනපතිගෙන් ජපානයේ සිට සහතිකයක්

සිය සංචාරයේ පළමු කටයුත්ත ලෙස, ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ, ඔසාකා නුවර පැවැත්වෙන “එක්ස්පෝ 2025” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකා දින සැමරුම් උත්සවය සඳහා සහභාගි වුණා.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව සංවිධානය කළ ශ්‍රී ලංකා දින උත්සවය, ශ්‍රී ලාංකීය අනන්‍යතාව පිළිඹිබු කරන විවිධ සංස්කෘතිකාංගවලින් විචිත්‍රවත් වූ අතර, මෙම සංස්කෘතික උත්සවය නැරඹීම සඳහා ජපන් ජාතිකයින් මෙන්ම විදේශිකයෝ විශාල පිරිසක් රැස්ව සිටියා.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කළේ ගෝලීය පරිවර්තනයන් සිදු වන මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව පසු වන්නේ සිය ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතක බවත්, අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් ශ්‍රී ලංකාව මේ වන විට තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටින බවත්ය.

මෙම සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවට සහතික වන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනීමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වයද මෙහිදී සිහිපත් කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙකු වන ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා සේම සාර්ථක කාලවලදී එම සතුට සැමරීමටද එක් වන ශක්තිමත් හවුල්කරුවෙක් බවද සදහන් කළා.

එක්ස්පෝ 2025 ඔසාකා” ප්‍රදර්ශනයේ ශ්‍රී ලංකාවේ සහ ජපානයේ ප්‍රදර්ශන මණ්ඩප නැරඹීමටද ජනාධිපතිවරයා මෙහිදී එක් වුණා.

මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිදු කළ සම්පූර්ණ කතාව මෙසේය,

මිත්‍රත්වය යනු මනුෂ්‍යත්වයේ වටිනාම බැඳීම්වලින් එකක්. එය පුද්ගලයන්, ප්‍රජාව සහ සංස්කෘති එකට යා කරනවා. සීමා අතික්‍රමණය කරනවා. මානව සබඳතා වර්ධනය කරනවා. ඒ වගේම වඩා හොඳ ලෝකයක් ගොඩනැඟීම වෙනුවෙන් පොදු අරමුණු හරහා ජාතීන් එක් තැනකට ගෙන එනවා.

“2025 එක්ස්පෝ” ප්‍රදර්ශනය මෙම පරමාදර්ශය පෙන්නුම් කරන අවස්ථාවක්. මිත්‍රත්වය සහ පොදු අරමුණු සමරන මේ අවස්ථාවේ ජපානය සහ අනෙකුත් ජාතීන් සමඟ එක්ව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වී තිබෙනවා. ඓතිහාසික ඔසාකා නගරයේ පැවැත්වෙන එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා දිනය සැමරීමට ඔබ සමඟ එක්වීමට ලැබීම ගෞරවයක් ලෙස සලකනවා.

“එක්ස්පෝ 2025” ජාතීන් 150කට අධික සංඛ්‍යාවකට අන්‍යෝන්‍ය මිත්‍රත්වය, සහජීවනය, සංස්කෘතික විවිධත්වය සහ සෑම සමාජයකම පවතින මානව වටිනාකම් ප්‍රදර්ශනය කිරිමට අවස්ථාව සපයන ගෝලීය වේදිකාවක්. මෙහිදී අප ශ්‍රී ලංකා උරුමයේ පොහොසත්කම පමණක් නොව, තිරසාර ශක්තිමත් මෙන්ම අනාගතයට සූදානම් ජාතියක් ලෙස අපගේ පැහැදිලි දැක්ම ලෝකයට ඉදිරිපත් කරනවා.

එක්ස්පෝ වැනි ජාත්‍යන්තර වේදිකාවලදී අප සතු ශක්තින් සහ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමෙන් ගෝලීය ප්‍රජාව තුළ වගවිය යුතු සහ ඉදිරි දැක්මක් ඇති හවුල්කරුවෙකු ලෙස අපගේ භූමිකාව නැවත තහවුරු කරනවා. ශ්‍රී ලංකාව එක්ස්පෝ 2025 සහභාගිත්වය තුළින් නවීන මෙන්ම නිෂ්පාදන පාදක ආර්ථිකයක් කරා ගමන් කරමින් තීරණාත්මක ආර්ථික පරිවර්තනයක් සඳහා අප දක්වන කැපවීම ලෝකයේ අනෙක් රටවලට පෙන්වීමටද මහඟු අවස්ථාවක් වෙනවා. මෙහිදී තොරතුරු තාක්ෂණය, සංචාරක ව්‍යාපාරය, කෘෂිකර්මාන්තය සහ අපිට බහුලව පවතින සමුද්‍ර සම්පත් තිරසරව භාවිතා කිරිම ඇතුළු ඉහළ විභවයන් තිබෙන අංශ පෝෂණය කිරිම සම්බන්ධයෙන් අප සතුව ඇති පැහැදිලි ප්‍රතිපත්තිය මනාව පිළිඹිබු වෙනවා.

“එක්ස්පෝ 2025” තේමාව වන්නේ අප සඳහා අනාගත සමාජයක් නිර්මාණය කිරීමයි. එහි දැක්ම වන්නේ අනාගත පරම්පරාවට, විශේෂයෙන් අපේ දූ දරුවන්ට වඩා හොඳ ජිවිතයක් නිර්මාණය කිරීමයි. ගෝලීය පරිවර්තනයන් සිදුවන මේ යුගයේදී ශ්‍රී ලංකාව සිටින්නේ අපේ ආර්ථික ගමනේ තීරණාත්මක මොහොතකයි. අඛණ්ඩ අභියෝගවලට මුහුණ දුන් අපි දැන් තිරසාර සහ සහභාගිත්ව ආර්ථිකයක් නැවත ගොඩනඟමින් සිටිනවා. මෙහිදී සංවර්ධනයේ ප්‍රතිලාභ පුළුල්ව බෙදා ගන්නා බවටත්, එම සමෘද්ධිමත්භාවය තුළින් සෑම පුරවැසියෙකුගේම ජීවන තත්ත්වය උසස් කරන බවටත් අප සහතික වෙනවා.

2025 එක්ස්පෝ ප්‍රදර්ශනය මගින් ශ්‍රී ලංකාවට තම සංස්කෘතිය, නවෝත්පාදන සහ මානව වටිනාකම් මත පදනම් වූ දීප්තිමත් අනාගතයක් සඳහා වන දැක්ම බෙදා ගැනිමට හැකි ගෝලීය වේදිකාවක් නිර්මාණය කර දෙනවා.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සියවස් ගණනාවක් පැරණියි. මෑත කාලයේ එය පෙරටත් වඩා ශක්තිමත් වී තිබෙනවා. අපගේ සමීප මිතුරෙකු ලෙස ජපානය දුෂ්කර කාලවලදී සහාය වෙනවා වගේම සාර්ථක කාලවලදී අප සමඟ එම සතුට සැමරීමටද එක් වන හවුල්කරුවෙක්. බොහෝ ශ්‍රී ලාංකිකයින් දැන් ජපානයේ ජීවත් වෙනවා. මේ හරහා විශ්වාසය සහ අවබෝධය මත පදනම් වූ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද අපි මුහුණ දී ඇති අභියෝග මධ්‍යයේ වුවත්, එක්ස්පෝ 2025 ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකා මණ්ඩපය අපේ ජාතිය සතු නොසැලෙනභාවය, සංස්කෘතික අභිමානය සහ අනාගතය පිළිබඳ විශ්වාසය පෙන්නුම් කරනවා.

අද දින එක්ස්පෝ 2025 නැරඹීමට මට අවස්ථාව ලැබුණා. මෙම ප්‍රදර්ශනය උත්කර්ෂවත් ලෙස සාර්ථක කර ගැනීමට එහි සංවිධායක මණ්ඩලයට මම උණුසුම් සුබ පැතුම් එක් කරනවා. ශ්‍රී ලංකා මණ්ඩපය සහ ශ්‍රී ලංකා දින සැමරුම සාර්ථක කර ගැනීම සඳහා ජපාන රජය මෙන්ම එක්ස්පෝ 2025 සංගමය ලබා දුන් අමිල සහයෝගය වෙනුවෙන් මම මගේ කෘතඥතාව පළ කරනවා.

ශ්‍රී ලංකාවේ පුරාණ සංස්කෘතික උරුමය, ස්වභාවික සුන්දරත්වය, ආකර්ෂණීය සංචාරක ස්ථාන මෙන්ම ශ්‍රී ලංකාවේ තේ, මැණික් සහ කුළුබඩු වැනි ප්‍රසිද්ධ නිෂ්පාදන ලොවට ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව ලැබී තිබෙනවා. මෙහිදී භෞතික ප්‍රගතියට සීමා නොවී මානව වටිනාකම් මත පදනම් වූ සමෘද්ධිමත් ලෝකයක් සහ සුන්දර අනාගතයක් ගොඩනැඟීමට අප සතු කැපවීම නැවතත් තහවුරු කරනවා.

සෑම සිහිනයක්ම සැබෑ කරගත හැකි, සියලු දෙනාටම බැබළෙන්නට හැකි සහ ජාතියකට ශ්‍රේෂ්ටත්වය අත්කරගත හැකි ලෝකයක් නිර්මාණය කිරීමට එක්ව කටයුතු කරන ලෙස මම ඔබ සියලුදෙනාට ආරාධනා කරනවා.

“එක්ස්පෝ 2025” ආරාධිත අමුත්තා ජනාධිපති අනුර කුමාර දිසානායක

ජපාන රජයේ ආරාධනයකට අනුව ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (27) පෙරවරුවේ ජපානයේ, ඔසාකා නුවර පිහිටි කන්සායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ළඟා වුණා.

එහිදී ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසොමතා (Akio ISOMATA), ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය පිවිතුරු ජනක් කුමාරසිංහ සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විසින් ජනාධිපතිවරයාව හරසරින් පිළිගනු ලැබුවා.

සැප්තැම්බර් 27 වන දින ජපානයේ ඔසාකාහි පැවැත්වෙන “එක්ස්පෝ 2025” ශ්‍රී ලංකා දින සැමරුමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක සහභාගී වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව මෙම උත්සවය සංවිධානය කරනු ලබනවා.

සිය සංචාරය අතරතුරදී ජනාධිපති අනුර කුමාර දිසානායක ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයා හමු වීමට නියමිත අතර, ජපාන අග්‍රාමාත්‍ය ෂිගෙරු ඉෂිබා (Shigeru Ishiba) සහ ජපාන ආරක්ෂක අමාත්‍යවරයා, විදේශ කටයුතු අමාත්‍යවරයා, ආර්ථික, වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු ප්‍රධාන පෙළේ අමාත්‍යවරු කිහිප දෙනෙක් හමු වී ද්වී-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතයි.

අනුර – ට්‍රම්ප් හමුව

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා නිව්යෝර්ක් නුවරට පැමිණ සිටි රාජ්‍ය නායකයන් වෙනුවෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය දා Lotte New York Palace හෝටලයේදී පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක ද සහභාගී තිබෙනවා.

එහිදී රාජ්‍ය නායකයෝ දෙපල ඡායාරූපයකටද එක් වූ අවස්ථාවයි මේ.

සූර්යකුමාර් යාදව්ට දඩ

‘පහල්ගම්’ ප්‍රහාරය ගැන අදහස් දැක් වූ ඉන්දීය නායක සූර්යකුමාර් යාදව්ට එරෙහිව ICCය ඔහුගේ තරග ගාස්තුවෙන් 30%ක දඩ නියම කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

එම තරගයෙන් පාකිස්තානය කඩුලු 7කින් පරාජය කිරීමෙන් පසුව පැවති මාධ්‍ය සාකච්චාවේදී ඉන්දීය නායකයා පවසා සිටියේ, එම ජයග්‍රහණය ඉන්දීය සන්නද්ධ හමුදාවන්ට වෙනුවෙන් කැපකරන අතර විපතට පත්වූවන් සහ ඔවුන්ගේ පවුල් සමග බෙදාගන්නා බවයි.

පාකිස්තානය ඊට එරෙහිව පැමිණිළි කිරීමෙන් අනතුරුව කමිටුවක තීරණයකට අනුව දඩ නියම කිරීම සිදුකර තිබෙනවා.

ඊට එරෙහිව ඉන්දියාව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වන පහල්ගම් වෙත අප්‍රේල් මස ඉස්ලාමීය බෙදුම්වාදී කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩිතැබීමකින් 26 ක් මරණයට පත්වූ අතර ඉන්දියාව චෝදනා කළේ මෙම ප්‍රහාරය පිටුපස පාකිස්තානය සිටින බවටයි.

ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින්විට වැසි ඇතිවිය හැකි අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

උතුරු-මැද පළාතේත් මාතලේ, මන්නාරම, සහ යාපනය දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇති විය හැකි බවද මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් මධ්‍යම, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින්විට හමන පැ.කි.මී. 40-50 ක පමණ තද සුළං ඇති විය හැකි බවද ඔවුන්ගේ නිවේදනයේ දැක්වෙනවා.

වෑන් රථයක් ගසක ගැටි සිදුවූ අනතුරකින් 11 දෙනකුට තුවාල

මහියංගන ගිරාදුරුකෝට්ට ප්‍රධාන මාර්ගයේ සොරබොර ප්‍රදේශයේ දී ඊයේ (26) රාත්‍රී වෑන් රථයක් ගසක ගැටි සිදුවූ අනතුරකින් 11 දෙනකු තුවාල ලබා මහියංගන රෝහලට ඇතුළත් කර තිබෙනවා.

වෑන් රථයේ රියැදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.